වන්ද්‍යාකරණය සඳහා බටහිර වෛද්‍ය විද්‍යාවේ ඖෂධමය ක්‍රමයක් මේ දක්වා හදුන්වා දී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය  අනිල් ජාසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව වන්ද්‍යාකරණය සඳහා වර්තමානයේ ඇති එකම ක්‍රමය ශල්‍යකර්ම පමණක් වන බවය.
මෑතකදී කතාබහට ලක් වූ “වඳ පෙති” සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට විමසීම් ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කර තිබේ.
තම පවුල සම්පූර්ණ කළ පුද්ගලයින්ට ඉදිරියට අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වා ගැනීම සදහා ස්ථිර ක්‍රමයක් ලෙස වන්ද්‍යාකරණය  සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාව පවතින අතර ඔවුන්ට එම සේවාවන් ලබාදීමට පවුල් සැලසුම් සේවාවන් පවතින බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙයි.
බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව වන්ද්‍යාකරණය සඳහා වර්තමානයේ ඇති එකම ක්‍රමය ශල්‍යකර්ම වන අතර කාන්තාවන් සඳහා එල්.ආර්.ටි. සැත්කම සහ පුරුෂයින් සඳහා වාසෙත්කමී සැත්කම එලෙස සිදුකරන බව අනිල් ජාසිංහ මහතා පැවසීය.
ඒ අනුව වන්ද්‍යාකරණය සඳහා මේ දක්වා බටහිර වෛද්‍ය ක්‍රමයේ ඖෂධමය ක්‍රමයක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මේ අතර අම්පාර නගරයේ පසුගියදා ඇති වූ සිද්ධිය අදිසි හස්තයක් මත ක්‍රියාත්මක වී දැයි සෙවීමට පරීක්ෂණයක් සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
වඳ පෙති නමැති ඖෂධයක් මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයේ නොමැති අතර එම සිද්ධියට මුවාවී ජාතිවාදය පැතිරවීමේ උත්සහයක් ක්‍රියාත්මක වන්නේ ද යන්න පිළිබඳ පරීක්ෂණ පවත්වන බව අමාත්‍යවරයා පවසයි.
වඳ පෙති නමැති ඖෂධයක් මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයේ නොමැති අතර එම සිද්ධියට මුවාවී ජාතිවාදය පැතිරවීමේ උත්සහයක් ක්‍රියාත්මක වන්නේ ද යන්න පිළිබඳ පරීක්ෂණ පවත්වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශකර තිබේ.